fbpx

මේ වෙනකොට ආණ්ඩුව ජනතාවගේ විදුලිය විසන්ධි කරන්න සූදානම් බවත් ඊට පෙර ආණ්ඩුව විසන්ධි කරන්න ජනතාව පෙරට ආ යුතු බවත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මාතර වැලිගමදී කීය.

පසුගියදා(12) සජිත් ප්‍රේමදාස මහතා මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක ජන හමු වලට සහභාගී වූ අතර එම ජන හමු වලට අති විශාල ජනතා සහභාගීත්වයක් දැකිය හැකි විය.අකුරැස්සේ පැවැති ජන හමුවට බොහෝ දෙනා තම නිවෙස්වලට ලැබී තිබූ විදුලි බිල් සහ රතු නිවේදන රැගෙන විත් තිබුණි.

‘අපිට රුපියල් පන්දාහක් තියා සත පහක්වත් ලැබිලා නෑ” බොහෝ දෙනා එම ජන හමුවලදී පැවසූහ.

වැලිගම ජන හමුව රෙහාන් ජයවික්‍රම සංවිධානය කොට තිබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

“මේ වෙනකොට මුලු රටම තියෙන්නේ ව්‍යාකූල තැනක.එක පැත්තකින් කොරෝනා දෙවන රැල්ලක අවධානම ඇවිත්.තවත් පැත්තකින් රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා. ආණ්ඩුවට ජනතාව ගැන කිසින හැගීමක් නෑ.

මේ මැතිවරණයට පෙර අපි කීවා අවසාන කොරෝනා රෝගියත් සුව වුනාට පස්සේ වගකිවයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ  සහතිකයකට පස්සේ මේ මැතිවරණය තියන්න කියලා.හැබැයි ආණ්ඩුව කීවා කොරෝනා ඉවරයි.කොරෝනා ඉවර කරපු හපන්නු තමයි අපි කියලා.

ආණ්ඩුව එහෙම පංපෝරි ගහනකොට අපි කීවා කරුණාකරලා රට සුරක්ෂිත කරන්න කියලා. එදා අපි එහෙම කියනකොට ආණ්ඩුවේ සමහරු කීවා අපි මැතිවරණ වලට බයේ මැතිවරණ කල් දාන්න හදනවා කියලා. එදාත් අපි කටයුතු කළේ ජනතාව වෙනුවෙන්.

හැබැයි මැතිවරණය තීන්දු කළාම අපි රටපුරා මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළා.අද වෙනකොට නැවත කොරෝනා ව්‍යසනය හිස ඔසවලා.මේ අවධානමට රට ඇදලා දැම්මේ ආණ්ඩුව.මේ අපරාධයට ආණ්ඩුව වගකිව යුතුයි.

කොරෝනා ව්‍යසනය පවා දේශපාලනීකරණයකට ලක් කළේ ආණ්ඩුව.ඒ ව්‍යසනය මැද පවා ජාතිවාදය පතුරවැවුවේ ආණ්ඩුව.තෝරාගත්ත පිරිසකට සහන දීලා අනෙක් අය නොසලකා හැරියේ ආණ්ඩුව.අද මුලු රටම මහ ව්‍යසනයක.

කොරෝනා ව්‍යසනය ගැන මුලින්ම පාර්ලිමේන්තුවේ දී මම පසුගිය ජනවාරි24 කතා කළා.ඒ වෙනකොට කොරෝනා චීනයේ ආරම්භ වුණා විතරයි.මොකක්ද ආණ්ඩුව කීවේ.එහෙම අවධානමක් නෑ කීවා.ඊට පස්සේ අපි නැවත මේ ගැන දිගටම කීවා.සෞඛ්‍ය සම්පන්න මුව ආවරණ නොමිලේ දෙන්න කීවා.ආණ්ඩුව කීවා මුව ආවරණ පලදින්න උවමනා නෑ කියලා.ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය වරිය තමයි එහෙම කීවේ. ඒ විතරක් නෙවේ අපිට සමච්චල් කළා.අපි හැම වෙලාවෙම මේ අනතුර රටට කීවා.පාර්ලිමේන්තුවේ දෙවතාවක් කීවා.ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බා.විශේෂ ප්‍රකාශ කළා.මාධ්‍ය නිවේදන නිකුත් කළා.අවශ්‍ය බලධාරීන්ට අනේකවාරයක් කීවා.

එහෙත් ඒ කිසිවක් මායිම් කළේ නෑ.කොරෝනා ව්‍යසනයට එරෙහි අපේ සටන බොහෝ මාධ්‍යට පෙනුනෙත් නෑ.

මැතිවරණයට දින වෙන් කරන්න පෙර අපි කීවා මේ ව්‍යසනයෙන් රට ඔලුව උස්සනකම් ඉමු කියලා.ඒවා ඇහුවේ නෑ.

මළ මිනී උඩින් මැතිවරණය කරන්න එපා කීවා.කොරෝනා දෙවෙනි,තුන්වෙනි රැලි ගැන හිතන්න කීවා.මිනිස්සුන්ගේ ජීවිත රැකලා ඉමු කීවා.නමුත් ඒ කිසිවක් මායිම් කළේ නෑ.තබ දොයිතුවකට තැකීමක් කළේ නෑ.පයට පෑගෙන දූවිල්ලක් තරම් ගනන් ගත්තේ නෑ.

ආණ්ඩුවට ඊට වඩා ලොකු වැඩක් තිබුණා .මිනිස් ජීවිත රකිනවට වඩා මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න ආණ්ඩුවට ඕන වුනා.ඒ නිසා ආණ්ඩුව උදේ හවස මතුරමින් හිටියේ තුනෙන් දෙක ගැනීමේ මන්තරය.

මේ කොරෝනා දෙවෙනි රැල්ලට ආණ්ඩුව වග කියන්න ඕන.සීයට ලක්වාරයක් වග කියන්න ඕන.

අපිට මතකයි ඒ දවස්වල අපි ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නකොට මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුවේ ඇත්තෝ කීවා වහාම මැතිවරණ දිනය කියන්න කියලා.එහෙම නොකීවොත් ආණ්ඩුව මැතිවරණ දිනය කියනවා කීවා.එහෙමයි ආණ්ඩුවේ බලලෝබී කල්ලිය හැසිරුණේ.

ඒ අය අපිට චෝදනා කළා අපි මැතිවරණයට බයේ කල් දාන්න හදනවා කියලා.අපි මැතිවරණයට බයනම් මෙහෙම රට වටේ යනවද?.අපි බය මැතිවරණ වලට නෙවේ.අපිට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවගේ ජීවිත ගැන.ඒ ජීවිත වෙනුවෙන් අපි සටන් කළා.

හැබැයි ආණ්ඩුව මේ කිසිම දෙයක් ගනන් ගත්තේ නෑ.

මැතිවරණයට දින නියම කළාම අපි මැතිවරණයට සූදානම් වුණා.මේ රටේ සියලු බලවේග අපි එක්ක එකතු වුණා.මේ රටේ ජනතාව අපි එක්ක පෙළ ගැහුණා.දවසින් දවස අපි ශක්තිමත් ලෙස ඉදිරියට ආවා.

දැන් ආපහු කොරෝනා ව්‍යසනය ඔලුව උස්සලා තියෙනවා.

මුලු ලෝකෙම ආර්ථික අවපාතයකට ලක් වෙලා.එක්දහස් නවසිය විසි ගනන් වල තිබූ මහා ආර්ථික ව්‍යසනයට වැඩි ව්‍යසනයක් ඇතිවෙලා.එහෙම ව්‍යසනයක දොරටුවේ අපි ඉන්නේ.

ඒ හැම රටක්ම ජනතාව වෙනුවෙන් මූල්‍ය ශක්තිය ලබා දෙනවා.අමෙරිකාව ගත්තත්,බ්‍රිතාන්‍ය ගත්‍තත් එහෙමයි.

නමුත් අපේ රටේ මොකක්ද වෙන්නේ?.1929-1933ආර්ථික අවපාතයෙන් ලෝකය ගොඩ ආව හැටි ලෝකයම අවබෝධ කරගෙන තියෙනවා.අතීතයේ පාඩම් ඉගෙන ගෙන ඒ අය ජනතාව ශක්තිමත් කරනවා.අමෙරිකාව අමෙරිකන් ඩොලර් ට්‍රිලියන ගානක් ජනතාවට වෙන් කරනවා.

අපේ රටේ රුපියල් පන්දාහක් දුන්නා.ඒක දුන්නෙත් අපි සටන් කරපු නිසා.

මහ ලොකුවට කීවේ මාර්තු අපේල් විදුලි බිල එන්නේ නෑ කියලා .හැබැයි මැයි මාසේ බිල් තොගේට ඇවිත්.දඩ කොලත් එක්ක ඇවිත්.රතු නිවේදනයත් ඇවිත්.

විදුලිය විසන්ධි කරන්න නිවේදන ඇවිත්.

අපි ඔබට කියනවා, ආණ්ඩුව විදුලිය විසන්ධි කරන්න කලින් ,අපි ආණ්ඩුව විසන්ධි කරමු.

ආණ්ඩුවේ සැමන් පරිප්පු සහනය දවස් පහළවයි. රුපියල් පන්දාහා බෙදුවෙ දේශපාලන හෙංචයියෝ.එදා මාරාන්තික විනාශයක් කියපු එම්.සී.සී ගිවිසුම අද හොදයිලු.

දැන් අමෙරිකාව ගාව දන ගහලා ගිවිසුම අත්සන් කරමු කියනවා.

ගිය වතාවේ ජනාධිපතිවරණය වෙලාවේ කැලනි ගග දෙබෑ කරගෙන නාග රාජයෙක් ආවා. ඒ නාගයා ධාතූන් වහන්සේලා වැඩම කළා කියලා පොහොට්ටු තියාගෙන නාඩගමක් නැටුවා.

මෙදා පාර නිල්වලා ගග,කළු ගග හරි දෙබෑ වෙලා මොනවාහරි වෙන්න බැරි නෑ.

ඒ නිසා ප්‍රවේසම් වෙන්න.”

Leave a comment

© Office of Sajith Premadasa 2020. All Rights Reserved.
CLICK HERE to Download the media kit